ශ්‍රී ලංකාවේ පාසල්වල ඩිජිටල් පෙරළියකට සූදානමක් - ඉදිරියේදී සිදුවන වෙනස අගමැතිනි හෙළිකරයි

Ministry of Education Harini Amarasuriya Education schools Sinhala news
By Malith Madushan Sep 08, 2026 12:38 PM GMT
Report

පාසල්වල පවතින පරිගණක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක සහ සුහුරු පුවරු ඇතුළු ඩිජිටල් අධ්‍යාපනික උපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම විධිමත් කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

එම කටයුතු සඳහා කැපවන ගුරුවරුන්ගේ ගමන් වියදම් සහ අනෙකුත් ගෙවීම් විධිමත්ව සිදු කිරීම සඳහා නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළාය.

පාසල් මට්ටමින් දෘඪාංග හා ජාලකරණ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පුහුණුව ලත් ගුරු සංචිතයක් මේ වනවිට පිහිටුවා ඇති අතර, උතුරු පළාතේ කලාප 13ක් සඳහා ගුරුවරුන් 76 දෙනෙකු ඒ සඳහා යොදවා තිබේ.

පවතින ගුරු හිඟයට ද පිළියමක් ලෙස එම ගුරු සංචිතය තවදුරටත් පුළුල් කිරීමටත්, 2026 ඔක්තෝබර් මාසයේදී තවත් ගුරුවරුන් පිරිසකට විශේෂ පුහුණුව ලබාදීමටත් සැලසුම් කර ඇත.

මේ අතර, ඩිජිටල් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළාත් වෙත අමතර මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.

2025 සහ 2026 වර්ෂ සඳහා වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත් ඇතුළු පළාත් සඳහා ඒ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම, අග්‍රාමාත්‍ය කාර්ය සාධන බලකාය සමඟ එක්ව ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් නඩත්තුව සම්බන්ධ මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කර ඉදිරියේදී පාසල් වෙත ලබාදීමට ද සැලසුම් කර තිබේ.

වගකීම් කාලය අවසන් වූ උපකරණ අවම මිල ගණන් කැඳවා අලුත්වැඩියා කිරීමටත්, ඩිජිටල් උපකරණ නඩත්තු කිරීම සම්බන්ධයෙන් සිසුන් පළාත් මට්ටමින් පුහුණු කිරීමටත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.