බන්ධනාගාරවල රැඳවියන් 5,068ක් අඩුවෙයි

Prisons in Sri Lanka Latest Headlines Harshana Nanayakkara Sinhala news Puwath.lk
By R.rishma Oct 22, 2026 10:09 AM GMT
Report

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරගත රැඳවියන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පසුගිය ජූලි 01 වන දින වන විට බන්ධනාගාරවල 41,993ක් ලෙස පැවති රැඳවියන් සංඛ්‍යාව, සැප්තැම්බර් 30 වන විට 36,925 දක්වා අඩුවී ඇති බව අදාළ තොරතුරු අනාවරණය කරමින් අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

බන්ධනාගාරවල සෙනඟ වැඩිවීමට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය මඟහරවා ගැනීම සඳහා රජය විසින් අදාළ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවා, කාර්ය මණ්ඩලය ශක්තිමත් කරමින් එම කටයුතු අතිශයින් වේගවත් කළ බවත් උදාහරණයක් ලෙස අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පමණක් රස පරීක්ෂක වාර්තා 1,506ක් නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පැවසු කරුණු අනුව, ඉදිරි පනත් සංශෝධන යටතේ රස පරීක්ෂකවරයාට භාණ්ඩයක් ලැබුණු පසු මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව ලබා දිය යුතු බවට නියම කර තිබේ. නඩුවක් අවසන් වන තෙක් මත්ද්‍රව්‍ය පැකේජය සම්පූර්ණයෙන් රඳවා තබා ගැනීම වෙනුවට, ඒවායේ ඡායාරූප සහ අවශ්‍ය නම් වීඩියෝ ගත කර මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී, උසාවි කොන්දේසිවලට යටත්ව ඒවා කඩිනමින් විනාශ කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දීමට නියමිතය.

මෙම ක්‍රියාවලියේදී චෝදනා ලබන්නාගේ හෝ සැකකරුගේ මූලික අයිතිවාසිකම්වලට සහ සාධාරණ නඩු විභාගයක අයිතියට කිසිදු අගතියක් නොවන පරිදි, නීත්‍යානුකූලව මෙම කටයුතු සිදු කිරීමට නීතිමය සංශෝධන මඟින් වගබලා ගෙන ඇත.