ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට ADBයෙන් ඩොලර් මිලියන 200ක ණයක්
මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.
මෙම මුදල ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිතය.
ඒ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන් කර ඇත.
ADB සභාපති මසාටෝ කන්ඩා මහතා සඳහන් කර ඇත්තේ, දුරස්ථ ප්‍රදේශයක පවතින ගැටුමක බලපෑම් හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය යුතු නොවන බවයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම හඳුනාගෙන ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. මෙම ණය වැඩසටහන යටතේ වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ADB සඳහන් කරන්නේ, මෙම ප්‍රතිසංස්කරණ මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට අනාගතයේ ඇතිවිය හැකි බාහිර ආර්ථික කම්පනවලට වඩාත් ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇති බවයි. මේ අතර, මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉහළ යන වියදම් සහ ආර්ථික අවිනිශ්චිතතාවට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙත සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණය ආධාරයක් ලබාදීමටද ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව, එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවටත්, ඩොලර් මිලියන 250ක් කාම්බෝජයටත් ලබාදීමට නියමිතය.