පොහොට්ටුවේ මහ සමුළුවට පිරිස ගෙනා හැටි හෙළිවෙයි - ඔබත් මෙම වවුචර් පත් හිමියෙක්ද..?
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ විශේෂ පක්‍ෂ සම්මේලනයට දෙමටගොඩ මාළිගාවත්ත වනාතමුල්ල ආදි ප්‍රදේශවලින් ජනතාව ගෙනවිත් ඇත්තේ වව්චර් දෙන බවට පොරොන්දු වී බවයි.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, ලබන පාසැල් වාරය ආරම්භ වීමේදී දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා එම වවුචරය ලබාදෙන බවත් එය ලබා දෙන්නේ රැස්වීම ආරම්භයේ සිට අවසානය දක්වාම රැඳී සිටින අයට පමණක් බවත් නිවෙස්වලට පැමිණ දැනුම් දී ඇති බවත්ය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
මේ අතර, පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට ඊයේ එක්වෙමින්, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,"අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.
එය නිසැකයෙන්ම එඩිතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු බව ද අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ජනතාව මරණ බියෙන් ගලවා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ද අවධාරණය කළේය. නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.
"ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු.
ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා..."