ජූලි මාසයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික පිටත්වීම් ඉහළට
මෙම වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 4.84%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් 25,622 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙම වසරේ එක් මාසයකදී වාර්තා වූ ඉහළම පිටත්වීම් සංඛ්‍යාව මෙයයි. ජූනි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබූ සංඛ්‍යාව 24,440කි.
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය, දකුණු කොරියාව හා ජපානය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම් අනුව එම රටවල රැකියා සඳහා යොමුවීමට ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩි උනන්දුවක් පවතින බවද වාර්තා වේ.
ඒ අනුව, මෙම වසරේදී ඊශ්‍රායල රැකියා සඳහා 2,521 දෙනෙකුද, දකුණු කොරියානු රැකියා සඳහා 1,618 දෙනෙකුද, ජපාන රැකියා සඳහා 79 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ.
ජපානයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් 14 දෙනෙකු සඳහා පසුගිය 03 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් පිරිනමා ඇති අතර, ඔවුන්ට නිෂ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමිවී ඇත.
මේ අතර, විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙයි. 2026 ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක මුදලක් මෙරටට එවා තිබේ.
ජූලි මාසයට අදාළ ප්‍රේෂණ දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර නොමැති අතර, පසුගිය මාසවල ප්‍රවණතා අනුව එම මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 540ත් 570ත් අතර ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.