සේවකයන් 100 ට වඩා වැඩි සියලු ආයතන සඳහන් නව නීතියක්..!

Manusha Nanayakkara Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 21, 2022 10:57 AM GMT
Report

වැඩ බිමේ සුරක්ෂිතතාව නීතියක් නොව සංස්කෘතියක් බවට පත් විය යුතු බවත්, වැඩ බිමේ දී කිසිදු හානියක් නොමැති ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීම එක ම අරමුණ සහ පරමාර්ථය බවත්, ඒ සදහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අභ්‍යාස ලාභීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයාමේ බව සඳහන් කළා.

“ඉදිරි වසර කිහිපය තුළ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ සියලු අභ්‍යාසලාභීන් උපාධිධාරීන් බවට පත් කිරීමයි මගේ අපේක්ෂාව. ඒ අනුව ලබන වසර තුළ මෙය වරලත් ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ආයතනයේ උපාධිධාරීන් කොරියාවේ රැකියා ගත කිරීම සම්බන්ධයෙන් කොරියානු විශ්වවිද්‍යාලයක් සමග මූලික සාකච්ඡාව පැවැත්වූවා.

ඔවුන් අපත් සමග අනුබද්ධ වෙන්න සූදානම්. එහි වගකීම ආයතනයේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරෙනවා. ඒ අනුව අනාගතයේ දී අපට වෘත්තීය සුරක්ෂිතතා අංශයෙන් උපාධිධාරීන් බිහිකරන්න අවස්ථාව උදා වෙනවා. වැඩබිමේ සේවකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මෙය අපි විසදා ගත යුතු බරපතල ප්‍රශ්නයක්.

ඒ සදහාත් වැඩ කළ යුතුයි. අනතුරු හැර ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සහ වෘත්තීය සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වන ගැටලු, වැඩබිමේ අනතුරු, පූර්ණ අබලතාවක, දුබලතාවක දී වන්දි, පෞද්ගලික අංශයේ රැකියාවක් අහිමි වීමක දී මාස තුනක් දක්වා වැටුප්, රෝහල් ගතවීමක දී සේව්‍යාට හෝ සේවකයාට බරක් නොදී බෙහෙත් ලබා ගැනීම සදහා සමූහ රක්ෂණ ක්‍රමයක් රජය මගින් හදුන්වා දීම ඇතුළු යෝජනා රැසක් මෙවර අයවැයෙන් යෝජනා කළේ අපේ ශ්‍රමබලකාය ආරක්ෂා කර ගැනීමත්, ශක්තිමත් කිරීමත් අපේ එක ම අරමුණ නිසයි.

ලංකාවේ ඉහළ පෙලේ කර්මාන්ත තුළ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබද වැඩි අවශ්‍යතාවක් තියෙනවා. ඒ අපනයන වෙළෙදපොළට අවශ්‍ය ප්‍රමිතීන් සහ කම්කරු නීතී අනුව කටයුතු කළ යුතු නිසා. කම්කරු නීතියට ගෙන එන මෙම නව සංශෝධන තුළ අවම සේවක සංඛ්‍යාව සියයක් වන සියලු ම කර්මාන්ත ශාලාවලට, වෘත්තීය සුරක්ෂිතතා නිලධාරියෙක් අනිවාර්යය කිරීමට අපේක්ෂා කෙරෙනවා. “


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now