අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහළට

Economy of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Budget 2026
By R.rishma Sep 14, 2026 08:38 AM GMT
Report

පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හත අවසන් වන විට ශ්‍රී ලංකාවේ අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු දත්ත අනුව, 2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 556.1ක් වූ අතර, මේ වසරේ එම කාලය තුළ එය රුපියල් බිලියන 109.7ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, 2026 වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම සහ අනුදාන සියයට 25.1කින් වර්ධනය වී රුපියල් බිලියන 3,421.3ක් දක්වා ඉහළ ගොස් ඇත. එම කාලය තුළ සමස්ත රජයේ වියදම සහ ශුද්ධ ණය දීම් සියයට 7.3කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,531.0ක් බවට පත්ව තිබේ.

අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහළට | Sri Lanka Budget Deficit Shrinks Sharply

මධ්‍යම රජයේ ණය රුපියල් බිලියන 30,795ක්

2026 මැයි මස අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,795.04ක් ලෙස වාර්තා වී තිබේ.

එහි දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,609.43ක් වන අතර, රුපියල්වලින් අගය කරන ලද විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,185.61ක් ලෙස සඳහන් වේ.

බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි   

මේ අතර, සැප්තැම්බර් 7 සිට 11 දක්වා කාලය තුළ මැදපෙරදිග ගැටුම් දීර්ඝ වීමත්, ප්‍රධාන නෞකා මාර්ගවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් සැපයුම් බාධා ඇතිවීමේ අවදානමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, සතිය අවසන් වන විට බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

පෙර සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 12.00කින් ඉහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 10.77කින් ඉහළ ගොස් තිබේ.

විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක්

විදේශීය අංශයේ ප්‍රගතිය සලකා බැලීමේදී, 2026 අගෝස්තු මස අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර තිබේ. චීන මහජන බැංකුව (PBOC) සමඟ ඇති කරගෙන ඇති විනිමය හුවමාරු පහසුකමද එම සංචිත ප්‍රමාණයට ඇතුළත් වේ.

එමෙන්ම, 2026 අගෝස්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2025 අගෝස්තු මාසයේදී එම අගය ඩොලර් මිලියන 680.8ක් විය.

මේ අතර, සැප්තැම්බර් 11 වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වසරේ මේ දක්වා කාලය තුළ සියයට 5.7කින් අවප්‍රමාණය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.