ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් ගැන අලුත්ම අධිකරණ නියෝගයක්..!

Automobile Racing Sri Lanka
By Sewvandhi Aug 25, 2023 01:20 PM GMT
Report

අභියාචනාධිකරණය විසින්,  2023 අගෝස්තු 09 වන දා 'ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස්' සංගමයේ කටයුතු වළක්වාලමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ව අතුරු තහනම් නියෝගයක් ඉදිරිපත් කර තිබේ.

අදාළ අතුරු තහනම් නියෝගය 2023 අගෝස්තු 22 වනදා නිකුත් කළ බවයි, එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එනම්, අදාළ ගැසට් නිවේදනය ප්‍රකාර ව පත් කර තිබූ අතුරු කමිටුව නීත්‍යානුකූල නොවන බව ඔහු පවසයි. එම නියෝගයත් සමඟම ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයේ කවුන්සිලය නැවතත් බලාත්මක වේ යනුවෙන් ද ඔහු සිය නිවේදනයෙන් පවසයි.

මෙම ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා ඇති මව් සංගමය වන බවයි එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරා සඳහන් කරන්නේ.

එසේම, ක්‍රීඩා සංගමය විසුරුවීමට හේතුව ක්‍රීඩා ඇමතිවරයාගෙන් මෙතෙක් ලිඛිත ව තමා වෙත ලැබී නැති බව ද ඔහු පැවසීය.

ඊට අදාළ හේතු විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ ද ඊට පිළිතුරක් නොලැබීම හේතුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සති දෙකකට අදාළ ගැසට් නිවේදනය සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා ගත් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එසේම අදාළ ගැසට් පත්‍රය මඟින් ක්‍රීඩා සංගමය විසුරුවා දැමීම පිළිබඳ නඩුවක් ගොනු කර ඇති බවත් අතුරු තහනම් නියෝගය බලාත්මක සති දෙකක කාලය ඇතුළත නඩුව විභාගයට ගනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා අවධාරණය කළේය.