ශ්‍රී ලංකාවට ගොඩයන සුපිරි වැඩක් ගැන දකුණු කොරියාවෙන් දැනුම්දීමක්..

Sri Lanka South Korea
By Aruna Dec 22, 2022 06:52 AM GMT
Report

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට දකුණු කොරියාව ක්‍රියාත්මක කළ ‘නව ගම්මාන’ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතියක් ඔස්සේ සමස්ත ජනතාවගේ මනස වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එකතු වීම අනිවාර්ය සාධකයක් බවත් දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා ප්‍රකාශ කර තිබේ.

දකුණු කොරියාව 1970 දශයේ ‘නව ගම්මාන’ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජනතාවගේ මනස වෙනස් කරමින් ගම් මට්ටමින් දියුණු කිරීම ආරම්භ කළ බවත් මීට වසර 50 කට පමණ පෙර ඉතාම දුෂ්කර ගම්මානව පැවැති එම ගම්මාන මේ වන විට ඉතා දියුණු නගර බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

එම ව්‍යාපෘතිය ඔස්සේ සියලුම දෙනා මහන්සි වැඩ කරන සංකල්පය හදුන්වා දුන් බව කී ඒ මහතා දකුණු කොරියානුවන් දහවල් කාලයට නිදාගන්නේ නැති බව ද සඳහන් කළේය.

දකුණු කොරියාව මෙන් ශ්‍රී ලංකාව ද වසරකට වී ගොවිතැන වාර තුනකදී ක්‍රියාත්මක කළ යුතු බව කී ඒ මහතා කම්මැලි වුවහොත් රට ගොඩනැගිය නොහැකි බව ද කීය.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් අනිවාර්යෙන්ම විධායකය, ව්‍යවස්ථාව, අධිකරණය සහ අධ්‍යාපන ඇතුළු නිර්ණායකයන් සංශෝධනය කළ යුතු බවත් දියුණු යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කරගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ නායකයා වෙනත් රටවල්වලින් ඉල්ලාගෙන ඒම එතරම් හොඳ ක්‍රියාවක් නොවන බව කී චෝ සන් ලී මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ගොඩ ඒමට නම් ආයෝජනයන් තුළින් විශාල ව්‍යාපාර නිර්මාණය කරගත යුතු බවත්ය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී ඊයේ (21) පැවැති විශේෂ දේශනයකදී දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා එසේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now