ශ්‍රී ලංකාව ගැන ජපානයෙන් සුබ ආරංචියක්.!!!

Sri Lanka Japan China India
By Aruna Sep 30, 2022 01:38 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය "තමන්ගේ කොටස" කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) ඊයේ (29) ප්‍රකාශ කළා.

පිලිපීනයේ මැනිලා අගනුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමකට සහභාගී වූ ජපාන මුදල් අමාත්‍ය සුසුකි වාර්තාකරුවන්ට පැවසුවේ “පූර්ව කොන්දේසි සපුරා ඇත්නම් ජපානය තමන්ගේ යුතුකම් කොටස ඉටු කිරීමට සූදානම් බවයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන ලෙසත්, චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සම්බන්ධ කර ගැනීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට ස්වකීය උත්සාහයන් ගන්නා ලෙසත් මෙම රැස්වීමේදී තමා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ජපාන සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගිය බදාදා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවී ණය ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළ අතර ජපාන විදේශ අමාත්‍යාංශයට අනුව, සියලුම ණයහිමියන් සම්බන්ධ වන "සාධාරණ සහ විනිවිද පෙනෙන" ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම සියළු නායකයින් හඳුනා ගත යුතු බවත් අවධාරනය කෙරෙනවා.

ශ්‍රී ලංකවට සිය දැවැන්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බැවින් ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now