2026 ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි
Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ලොව විශිෂ්ටතම ආහාර සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය මෙක්සිකෝවටත්, දෙවැනි ස්ථානය ඉතාලියටත්, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයටත් හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව 50 වැනි ස්ථානයට පත්ව ඇත.
Travel And Tour World ආයතනය සඳහන් කළේ ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් ආහාරපාන, තිරසාරභාවය සහ සංචාරකයන්ට ලැබෙන සුවිශේෂී ආහාර අත්දැකීම් වැනි කරුණු පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බවයි.
යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, අමෙරිකානු හා කැරිබියානු කලාපය, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු ලොව ප්‍රමුඛ ආහාර සංචාරක ගමනාන්ත රැසක් මෙවර Top 50 ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාව සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් හේතුවෙන් සංචාරකයන්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන ගමනාන්තයක් ලෙස වාර්තාවේ සඳහන් කර ඇත.
වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා විවිධ ආහාර රසවිඳීමේ අවස්ථා ශ්‍රී ලංකාව තුළ පවතින බවද එහි පෙන්වා දී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ හොඳම ආහාර සංචාරක ගමනාන්ත 10ක් ද වාර්තාවට ඇතුළත් කර ඇති අතර, කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය එම ලැයිස්තුවට ඇතුළත් වේ.
කොළඹ බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ගාල්ල සහ මීගමුව වෙරළබඩ මුහුදු ආහාර සඳහා ප්‍රමුඛ ගමනාන්ත ලෙස වාර්තාවේ සඳහන් කර ඇත.
මහනුවර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සඳහාත්, යාපනය සුවිශේෂී දෙමළ ආහාර රස සඳහාත් ප්‍රසිද්ධියක් උසුලන බවත්, ඇල්ල දේශීය අමුද්‍රව්‍ය යොදාගත් ආහාර සඳහාත්, නුවරඑළිය තේ ආශ්‍රිත ආහාර සහ පැණිරස කෑම සඳහාත්, මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය නැවුම් මුහුදු ආහාර සඳහාත් කැපී පෙනෙන ආහාර සංචාරක ගමනාන්ත ලෙස නම් කර තිබේ.