උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා
උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ගේ පහසුව සඳහා අද (10) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, විශේෂ ප්‍රවාහන සේවා සඳහා සිසු සැරිය බස් රථ 1,700කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.
මේ අතර, උසස් පෙළ විභාගය අවසන් වනතුරු පාසල් බස් සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ පාසල් බස් සේවා අඛණ්ඩව ධාවනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව එම මණ්ඩලය පවසයි.
එමෙන්ම, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දුම්රිය සේවා අවලංගු නොකර සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සෙනසුරාදා දිනවල සිදුකිරීමට නියමිත දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.