අයහපත් කාලගුණය හමුවේ ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ගැන විශේෂ සාකච්ඡාවක්
ඉදිරියේදී අපේක්ෂිත අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අගෝස්තු 10 වැනිදා ආරම්භ වන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වුණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, හෙට (06), අනිද්දා (07) සහ 08 වැනිදා වැසි සහිත කාලගුණයක් පවතින්නේ නම් විභාග කටයුතු සම්බන්ධයෙන් ඇතිවිය හැකි බලපෑම් නිරීක්ෂණය කිරීම සඳහා එහි මෙහෙයුම් මැදිරියේ විශේෂ කුටියක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.
තවද, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් විභාග අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා සහන කණ්ඩායම් සූදානම් කර තබා ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරේ උසස් පෙළ විභාග සමයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජල ගැලීම් හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බෝට්ටු යොදවා තිබුණි.