නීති දෙකට කථානායකවරයාගේ සහතිකය

Latest Headlines Jagath Wickramaratne Sinhala news Puwath.lk
By R.rishma Aug 18, 2026 12:14 PM GMT
Report

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව, සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.

1958 අංක 29 දරන සත්ත්ව පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම සංශෝධනය මඟින් “සත්ත්ව” සහ “සතකු” යන යෙදුම්වල නීතිමය අර්ථ දැක්වීම් පුළුල් කර ඇති අතර, එළුවන්, ඌරන්, බැටළුවන් සහ කුකුළන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් පනතේ විධිවිධාන වඩාත් පැහැදිලි කර තිබේ.

මේ අතර, 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් තවදුරටත් ශක්තිමත් කිරීමයි.

කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධාන සඳහා ජල හා අපජල කළමනාකරණ සේවා සැපයීම මෙන්ම තාක්ෂණික, පුහුණු, රසායනාගාර සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහාද මෙම සංශෝධනයෙන් ප්‍රතිපාදන සලසා ඇත.

ඒ අනුව, අද සිට මෙම පනත් දෙකම නව සංශෝධිත නීති ලෙස බලාත්මක වේ.