රුසියානු තානාපති සහ කථානායක අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා

Russia Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 07:44 AM GMT
Report

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී කථානායකවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දශක ගණනාවක් පුරා පවත්වාගෙන යන ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම ලබන වසරේදී සමරනු ලබන බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාවට රුසියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ කථානායකවරයා, ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධාන ආනයනකරුවෙකු ලෙස රුසියාව දක්වන දායකත්වය මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව ද ඇගයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතින බව අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේය.

පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ විවිධ හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අවධානය යොමු වූ අතර, දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කැපවීම යළි තහවුරු කළහ.