දකුණු පළාතේ බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීමට විශේෂ සාකච්ඡාවක්

Prisons in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Boossa High Security Prison - Galle
By R.rishma Aug 04, 2026 08:55 AM GMT
Report

ගාල්ල, බූස්ස, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල බන්ධනාගාරවල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පෙරේදා (03) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී රැඳවියන්ගේ ආරක්ෂාව, බන්ධනාගාර ආරක්ෂක විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම සහ හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මීගමුව සහ මහර බන්ධනාගාර ආශ්‍රිතව මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දකුණු පළාත තුළ එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර සමාලෝචනය කිරීමට දකුණු පළාත් ආරක්ෂක කමිටුව මෙම හදිසි රැස්වීම කැඳවා තිබුණි.

මෙහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, දකුණු පළාතේ ජනතාවගේ ආරක්ෂාව සහ සාමකාමී වාතාවරණය පවත්වාගෙන යාම තම ප්‍රමුඛ වගකීමක් බවයි.

එමෙන්ම, බන්ධනාගාර ආශ්‍රිත සිදුවීම්වලට බලපා ඇති හේතු, ඒවායෙන් ලබාගත යුතු පාඩම් සහ අනාගතයේදී එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

සියලු ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීම සහ හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි යාන්ත්‍රණයක් සූදානම්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

දකුණු පළාතේ ජනතාවගේ ජීවිත, දේපළ සහ පොදු සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.