දක්ෂිණ අධිවේගයේ අනතුරින් අයෙක් මරුට:13ක් රෝහලට

van South highway accident Ishara Nayan Amarakeerthigama Millaniya
By Sewvandhi Apr 10, 2022 01:35 PM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 දශම.2 මිල්ලනිය ප්‍රදේශයේ දී නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් ලොරි රියදුරු මියගොස් වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ කරන්දෙනිය බංගලා පාර,අමරකීර්ති ගම පදිංචිව සිටි ඉෂාර නයන් ජයරත්න නැමති 28 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූවන් අතර බහුතරයක් දෙනා කාන්තාවන් බව පොලිසිය සඳහන් කරයි.

නිවසක බඩුබාහිරාදිය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරුට ශාරීරික අවශ්‍යතාවක් ඇතිවී කිලෝමීටර් 17. දශම 2 කණුව අසල වම්පස තීරුවේ ලොරිය නවතා ලොරියෙන් බැස මැද හරිය වන්නට හිටගෙන සිටියදී ,

පොල්ගහවෙල ප්‍රදේශයේ පිංකමකට සහභාගි වූ පිරිසක් රැගෙන මතුගම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී ලොරි රියදුරු ලොරියට සහ ආරක්ෂිත වැටට සිරවීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ගැලනිගම රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් වහා එම ස්ථානයට පැමිණ අනතුරින් තුවාල ලැබූවන් නාගොඩ සහ හොරණ මූලික රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now