ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොඩ බැස්සූ සූර්ය උමං වියලනය.

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Mar 25, 2024 11:47 AM GMT
Report

වී,බඩ ඉරිඟු ඇතුළු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම නව බීජ වියලීමේ පද්ධතිය හඳුන්වාදී තිබෙනවා.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා කියා සිටියේ,මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බවයි.

ඒ, අනුව සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් විවෘත කරනු ලැබුවා.

මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි.

එමෙන්ම ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබෙන අතර රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහන් කරන්නේ.