කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් රටේ සංවර්ධනයට අත්‍යවශ්‍යයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
රටක් සහ සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩනැගීම මෙන්ම එම අවස්ථා යථාර්ථයක් කිරීම රජයේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ නගරාධිපති නිල නිවසේදී ජූලි 30 වැනිදා පැවති Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
"Skills for Life" යන තේමාව යටතේ සිව්වන වරටත් සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සංවිධානය කරයි.
එම ප්‍රදර්ශනය ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවල කොළඹ 07 විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය, විශේෂයෙන් වෘත්තිය අධ්‍යාපනය සඳහා සැලකිය යුතු ආයෝජන සිදුකරමින් සිටින බවත්, එම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇති බවත්ය.
වෘත්තිය අධ්‍යාපනය "විකල්ප තේරීමක්" ලෙස සැලකෙන මතවාදය වෙනස් කළ යුතු බවද ඇය අවධාරණය කළාය. සියලුම අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍ර රැකියා අවස්ථා, ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම පුද්ගල දියුණුව සඳහාද වැදගත් වන බව ඇය සඳහන් කළාය.
මෙවැනි අධ්‍යාපනික ප්‍රදර්ශන රටේ සංවර්ධනයට සහ තරුණ පරපුරේ අනාගතය ගොඩනැගීමට වැදගත් දායකත්වයක් සපයන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දිවයිනේ සියලු ප්‍රදේශවල පාසල් සිසුන්ට මෙම අවස්ථාවට සහභාගි වීමට පහසුකම් සැලසීම සඳහා රජය කැපවී සිටින බවද ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ සංවර්ධන හවුල්කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.