කොණ්ඩ රැවුල් වවාගෙන,දේශපාලනය කරමින්..සිටින විනය විරෝධි භික්ෂූන් ගැන අමරපුර මහා සංඝ සභාව ගත් දැඩි තීරණය..!
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පවසන්නේ, භික්ෂූන්ගේ විනය රැකගැනීම සඳහා රජය ගෙන ඒමට බලාපොරොත්තු වන කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට තම සංඝ සභාවේ පූර්ණ සහය ලබා දෙන බවයි.
එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, භික්ෂුන් අපේක්ෂකයින් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වී දේශපාලනයේ යෙදීම අනුමත කළ නොහැකි බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ, මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි,
"මේ වනවිට පනත් දෙකක් පිළිබඳව කතා කරනවා. එකක් තමා කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, අනෙක තමා විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම. අමරපුර මහා නිකාය හැටියට පාර්ශව 22ම මහානායක හාමුදුරුවෝ, ලේකම් හාමුදුරුවරු ඇතුළු සියලුදෙනා හාමුදුරුවන්ගේ කැමැත්ත ලබාදීලා තියෙනවා නිල වශයෙන් ම බෞද්ධ කටයුතු කොමසාරිස් ට.
හේතුව අදටත් හැම සංඝ සභාවකටම කථිකාවත් තියෙනවා. නමුත් ඒවා සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන නිසා රටේ නීතියට එකඟ නැති නිසා යම් සංඝ සභාවකින් යම් පන්සලක් ගැන හෝ භික්ෂූන් වහන්සේ නමක් ගැන අධිකරණ නිමිත්තක් ආවා කියලා. අධිකරණ සංඝනායක හිමිවරු තීන්දුවක් දුන්නත් අපිට ඒ තීන්දුව රටේ නීතිය සමග බලාත්මක කරන්න බලයක් නෑ. මෙයින් කරන්නේ, ඒ සංඝ සභාවන්වලට ඒ නීතියට අවස්ථාව ලබාදෙන එක."
ප්‍රශ්නය - කොණ්ඩ රැවුල් වවාගෙන, මාක්ස් ලෙනින් අදහන භික්ෂු පිරිසක් බිහිවෙලා තියෙනවා. එකඟයිද මෙහෙම කොණ්ඩ රැවුල් වවාගෙන ඉන්න පුළුවන්ද?
"මම හිතන්නේ අමරපුර මහා නිකායේ විතරක් නෙමෙයි. ලංකාවේ තියෙන තුන් නිකායම කවදාවත් ඒවා අනුමත කරන්නේ නැහැ."
ප්‍රශ්නය - මේ අලුත් පනත හරහා යම් කිසි විදියකට භික්ෂුවට දේශපාලනයට ඒමට සීමා දාන්න සූදානම්ද?
"රජයෙන් ගේන්නේ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක්. එතකොට ඒ නිකායට තමා ඒ බලය තියෙන්නේ ඒ නිකායට අදාළ කථිකාවත ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් පොදු මතය තමයි ඒ භික්ෂු දේශපාලනය කියන එක ජාතික ආරක්ෂාව සමඟ තිබිය යුතුයි. නමුත් අපට එකඟවෙන්න බැරි භික්ෂුවක් සක්‍රීය දේශපාලනය කියන එක. මැතිවරණවලට, අපේක්ෂකයෝ හැටියට පාර්ලිමේන්තුවට යන එකට ... ඒ කියන දේශපාලනයට අපිට එකඟවෙන්න බෑ නිකායක් විදියට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |