විශේෂ තැනකට එන්න කියල කරපු වැඩෙන් පුද්ගලයෙක් මරුට..
නාරම්මල ප්රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවයි.
මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට ඇති වූ සැකය මත ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් ඇත.
නාරම්මල ප්රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබූ බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ, එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවයි.
එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය ගොස් ඇත.
එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දනුක අමරසිංහ නොහොත් 'මුතුවා' යන පුද්ගලයාට අයත් අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම කිසියම් පිරිසක් විසින් වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
වෙඩි 07ක් පමණ අදාල නිවසට එල්ල කර ඇති අතර, ප්රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් නිවසේ දොර ජනෙල්වලට ද හානි සිදුව ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේ අතුරුගිරිය හා නවගමුව යන ප්රදේශවල සිදුවු අපරාධ රැසක් මුතුවා යන පුද්ගලයා විසින් මෙහෙයවූ බවට ද තොරතුරු වාර්තා වුණා.