අධිවේගී මාර්ගවල යන සැමට ආසනපටි අනිවාර්යයි
සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව සඳහන් කළේ අධිවේගී මාර්ගයේ රියදුරන් සහ මගීන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ආසන පටි පැළඳීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ආසන පටි නොපැළඳ ගමන් කරන පුද්ගලයෙකුට රුපියල් 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.
අධිවේගී බස් රථවල ආසන පටි නොපළඳින මගීන්ගෙන්ද අදාළ දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.
රිය අනතුරුවලදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් සිදුවන ජීවිත හානි ඉහළ යමින් පවතින බැවින්, සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවද මනෝජ් රණගල මහතා අවධාරණය කළේය.
මේ අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වන බවයි.
2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ අංක 2455/29 දරන ගැසට් නිවේදනයට අනුව අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.