දිවයින පුරා සියලු පාසල් අද විවෘත කරයි..අද සිට පාසල් පවත්වන්නෙ මෙහෙමයි..

Ministry of Education Sri Lanka
By Aruna Jul 25, 2022 12:20 AM GMT
Report

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළා.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර,අද සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.

එසේම පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ.

ඒ අනුව අද සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.

මේ අතර, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා ඊයේ පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ, ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳව ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද සිට පාසල් විවෘත කළත්, අවශ්‍ය තරම් බස් රථ සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා යෙදවීමට ගැටලු මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අද සිට සුපුරුදු පරිදි ධාවනය වන බව එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බැටරි සහ ටයර්වල හිඟයක් පසුගිය කාලයේ පැවතිය ද එම ගැටළුව මේ වනවිට මග හැරී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now