පාසල් දරුවන් සම්බන්ධයෙන් අලුතින්ම ආරම්භ කරන්න යන දේ මෙන්න..

Ministry of Education Colombo Sri Lanka
By Aruna Sep 27, 2022 07:51 AM GMT
Report

පාසල් ආපනශාලාවන්හි අලෙවිකරණ ආහාරපාන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීමට සහ ඒවා අධීක්ෂණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි කොළඹ දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කරයි.

පාසල් ආපනශාලා තුළ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර අලෙවි නොවන බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි හෙතෙම පැවැසීය.

මේ වන විට රටපුරා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙමින් පවතින බවට තොරතුරු හෙළි වුවද දරුවන් එසේ මන්දපෝෂණයට ගොදුරු වන්නේ ආහාර නොමැති කමින් නොව පෝෂ්‍යදායී ආහාර මොනවාද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති කමින් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මේ අනුව පාසල් ආපනශාලාවල තෙල් පිටි හා සීනි අධික ආහාර හැකි පමණ සීමා කර කව්පි, මුංඇට, කඩල, බතල, මඤ්ඤොක්කා වැනි ආහාර හා පානයන් ලෙස කොළ කැඳ වර්ග හා ඖෂධීය පාන වර්ග අලෙවි කිරීමට උපදෙස් ලබා දීමටත් ඒවා අධීක්ෂණය කිරීම සදහා ආහාර පරීක්ෂකවරුන් යෙදවීමටත් පියවර ගන්නා බව වෛද්‍ය ගජනායක සඳහන් කරයි.

විශාල මූල්‍ය අර්බුධයක් පවතින අවස්ථාවකදී දරුවන් තම අතේ ඇති මුදලට පෝෂ්‍යදායී ආහාර වෙනුවට රෝග බෝකරන සහ කිසිදු පෝෂ්‍ය ගුණයන් නැති ආහාර පානවලින් කුස පුරවා ගැනීම මන්දපෝෂණ තත්ත්වයට හේතුවක් වී ඇති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now