ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වන තෙක් බලපැවැත්වෙන අතර, එම කාලය තුළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ ප්‍රචාරය කිරීමද සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
තවද, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන හෝ ඒවායෙන් ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාර සිදු කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද තහනම් කර තිබේ.
2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද අද (05) පැවැත්වීමට නියමිතය.