සිසුන් 3000කට සුපිරි අවස්තාවක් - ජනපතිගෙන් ලැබෙන දේ මෙන්න..

Ministry of Education Ranil Wickremesinghe Sri Lanka G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By Sewvandhi May 03, 2023 11:14 AM GMT
Report

අද (03) පෙරවරුවේ ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්වී අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100ක් ආවරණය වනපරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

මේ යටතේ ශිෂ්‍යත්වලාභියෙකු අ.පො.ස උසස් පෙළ අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රු. 5,000.00 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික කඩදාසි සංස්ථාවේ අනුග්‍රහයෙන් පාසල් බෑග්, පොත් කට්ටල, කුඩ, ඔරලෝසු සහ රුපියල් පන්දහසක් වටිනා තිළිණ පතක් ද ශිෂ්‍යත්වලාභීන් වෙත පිරිනමා තිබේ.

එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය. ඉතිරි ශිෂ්‍යත්වලාභීන් වෙත ඉදිරි සති දෙක ඇතුළත ශිෂ්‍යත්ව තිළිණපත් හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට කටයුතු සලසා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now