මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කාල සටහන වෙනස් කරයි..සියලු විස්තර මෙතනින් දැනගන්න..

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Aruna Nov 15, 2022 02:14 AM GMT
Report

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීමේ අනුපිළිවෙල වෙනස් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.

වෙන වසරවල ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍ර මුලින් ම ලබා දුන්න ද මේ වසරේදී 2 වන ප්‍රශ්න පත්‍රය මුලින් ම ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනු,ව එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේදී විභාග අපේක්ෂකයන්ට උදැසන 9.30 සිට 10.45 දක්වා පළමුවෙන් ම 2 වන ප්‍රශ්න පත්‍රයට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවසීය.

කෙටි විවේක කාලයකින් පසුව උදැසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට අවකාශය සැලසෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

පළමු ප්‍රශ්න පත්‍රය බුද්ධිමය හැකියාව මත හා තර්කානුකුල හැකියාව මත පිළිතුරු ලබා දිය හැකි අයුරින් සැකසෙන්නක් බැවින් විභාගයේදී මුලින් ම එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් දරුවන් තුළ දැඩි පීඩනයක් ඇති කරන්නක් බව බොහෝ පාර්ශව පෙන්වා දීම හේතුවෙන් මේ තීරණය ගත් බව ඔහු පැවසීය.

දෙවන ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ විෂය නිර්දේශයේ දරුවන් ඉගෙන ගත් කරුණුවලින් නිසා මුලින් ම එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් දරුවන් තුළ යම් විශ්වසනීයත්වයක් ගොඩ නැගෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ශිෂ්‍ය මිත්‍ර ශීලි අයුරින් මෙවර විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා දරුවන්ට යහපත් මානසික සුවතාවකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now