විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” පොත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Wimal Weerawansa Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 09, 2026 09:44 AM GMT
Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව, ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය ලබාදුන් නියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් නොවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, අලෙවි කිරීම සහ බෙදාහැරීම සම්පූර්ණයෙන් වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, එම තහනම් නියෝගය ටිල්වින් සිල්වා මහතාට අයත් බවට හඳුනාගත් ලේඛනවලට පමණක් සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළ අතර, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් එම තීන්දුවට එකඟ වී තිබේ.

ටිල්වින් සිල්වා මහතා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන් සඳහන් කර තිබුණේ, විමල් වීරවංශ මහතා විසින් තම ග්‍රන්ථයට ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ඇතුළත් කිරීම හරහා තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.

එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය, ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරමින් විමල් වීරවංශ මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ විශේෂ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නීතිය සහ කරුණු නිසි ලෙස සලකා බලා තීන්දුව ලබාදී ඇති බව සඳහන් කළේය.

කෙසේ වෙතත්, ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම තහනම් කිරීම වෙනුවට, ටිල්වින් සිල්වා මහතාට අදාළ ලේඛන පමණක් ඉවත් කිරීමේ පදනම මත තහනම් නියෝගය සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.