රජයේ සේවකයින් පිරිසකට 30 වන දා සිට මාසික වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙවීමට තීරණය කරයි..රැකියාවත් අහිමි වෙයි?.

Lakshman Yapa Abeywardena Government Employee Lanka Sathosa Nalin Fernando
By Aruna Sep 17, 2023 12:56 AM GMT
Report

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයින් 300 දෙනෙකු පමණ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

එම සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සාමාන්‍යාධිකාරි (වැඩ ආවරණ) කළමනාකරු (තොග ආවරණ), ගබඩා කළමනාකරු, ගණකාධිකාරි, සහකාර ගණකාධිකාරි, කළමනාකරණ සහකාර, සුපරීක්ෂක, ප්‍රාදේශීය සුපරීක්ෂක, සුපරීක්ෂක (ඉන්ජිනේරු) රියැදුරු, උපරියැදුරු ඇතුළු තනතුරු ගණනාවක සේවය කළ 292 දෙනෙකු ඒ අතර වන බවයි පැවසෙන්නේ.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය අනුව සියලු ම සේවකයන්ට සැප්තැම්බර් මස වැටුප් ගෙවීමෙන් අනතුරුව 30දා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් ගෙවන්නේ නැති බවයි පැවසෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛයක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි පත්කරන ලද නිලධාරි කමිටුව සතොස සියලු ම සේවකයන් සඳහා වන්දි සූත්‍රයක් ද සකස් කර තිබෙනවා.

අදාල චක්‍රලේඛයේ දැක්වෙන්නේ, එම සේවකයන් ආයතනයෙන් ලබා ගෙන ඇති ණය සහ ගෙවීමට ඇති සියලු ම මුදල් අඩුකිරීමෙන් හා විනය නියෝග මත ගෙවීම් කිරීමට ඇති සියලු ම ගෙවීම් අඩුකිරීමෙන් ඉතිරිවන මුදල් වන්දි සූත්‍රයට අනුව ලබා දෙන බවයි.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදලට අමතරව ව්‍යවස්ථාපිත දීමනා වන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ලබාගැනීමට සේවකයන් හිමිකම් ලබන බව ද එහි සඳහන්.

අමාත්‍යාංශයේ තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සතියේ සිට වෘත්තීය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සේවකයන් තීරණය කර තිබෙනවා.