මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි - සජිත්
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මෙම ඛේදනීය සිද්ධියෙන් ජීවිත හානි සහ තුවාලකරුවන් රැසක් වාර්තා වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීමක් සහ අකාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.
ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී බන්ධනාගාරයක් තුළ ජීවිත හානි සිදුවුවහොත් ඒ සඳහා රජය වගකිව යුතු බව ප්‍රකාශ කර තිබූ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, වත්මන් සිද්ධිය සම්බන්ධයෙන්ද රජය වගකීම භාරගත යුතු බව කියා සිටියේය.
ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජය යටතේද බන්ධනාගාර පද්ධතියේ අර්බුදය තවදුරටත් පවතින බව මෙම සිද්ධියෙන් පැහැදිලි වන බව ඔහු සඳහන් කළේය.
නීතිය හා සාමය ස්ථාපිත කිරීමටත්, බන්ධනාගාර තුළ මානුෂීය පරිපාලනයක් පවත්වාගෙන යාමටත් රජය අපොහොසත් වී ඇත්තේ මන්ද යන්න පිළිබඳව ජනතාවට පිළිතුරු ලබාදිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.