"..ත්‍රස්ත පන්නයේ මර්දනය යොදාගෙන ඔවුන් කොටුවී ඇති සීමාව පුළුල් කර ගන්නවා.." විපක්ෂ නායකගෙන් පොලිස් බාධක ගැන හදිසියේම විශේෂ නිවේදනයක්..!
කොටුව අවට මාර්ග බාධක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. "ජන ජීවිත අවුල් කරන මාර්ග බාධක ඉවත් කරනු ... ! ජනතා බලය අවබෝධ කරගනු ..." යන ලිපි ශීර්ෂය යටතේ එම නිවේදනය නිකුත් කර ඇත.
- උපුටා ගැනීම -
ජනතා බලය නැමති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය මර්දනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටී. එහි ආසන්නතම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමය.
ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළුවීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ. මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.
මේ රටේ සරසවි සිසුන් ප්‍රමුඛව විරෝධතා කිහිපයක් කොළඹට පැමිණීමට නියමිත වීම ආණ්ඩුවේ භීතියට හේතුවී ඇති අතර මෙය විහිළු සහගත මාර්ග බාධක තුළින් ජනතා විරෝධය නතර කළ නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුය.
දෙවසරක් තිස්සේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා ඇති අතර ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු සියල්ල මේ වන විට අකර්මණ්‍ය වී තිබේ. එමෙන්ම මේ රටේ පුරවැසියන්ගෙන් කොටසක් වන විශ්වවිද්‍යාල සිසුන්ට ද ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ඇයිති අයිතිය උල්ලංඝනය කිරීමට ආණ්ඩුවට හෝ කිසිදු බලවේගයකට නොහැක.
එක් අතකින් දෙසතියකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිත්ති හතරක් මැදට කොටු කිරීමට ජනතාව කටයුතු කොට තිබේ. දැන් ආණ්ඩුව සූදානමින් සිටින්නේ සිය ත්‍රස්ත පන්නයේ මර්දනය යොදාගෙන ස්ථිර මාර්ග බාධක ඉදිකොට තමන් කොටු වී ඇති සීමාව යම් පමණකට පුළුල් කොට ගැනීමටය.
ආණ්ඩුව පිළිබඳව ජනතා විරෝධය පුපුරා ගොස් ඇති මොහොතක එකී ජනතා විරෝධය ආපසු හැරවීමට ආණ්ඩුව සතුව කිසිම තුරුම්පුවක් නැති අතර රට ගොඩනඟනවා තබා රට ගොඩනගන්නට සිතන්නටවත් ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැත.
ජනතා අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය වෙනුවෙන් අන්තනෝමතික පාලනයක යෙදුණු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති මේ ජනතා බලවේග, කොන්දේසි විරහිතව සර්ව සාධාරණ යැයි අප තිරව විශ්වාස කරන අතර, ජනතාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන ඕනෑම මර්දනයකට එරෙහිව පෙරළා මැදිහත්වීමට සමගි ජන බලවේගය දෙවරක් නොසිතන බවද අවධාරණය කරමු.
එබැවින් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතිවාසිකම්වලට එරෙහිව ආණ්ඩුව ගනු ලබන මෙම අන්තනෝමතික ක්‍රියාමාර්ග වහා හකුළා ගත යුතු බවත්, ආණ්ඩුවේ ඉරණම පිළිබඳව අවසන් කෙලවරේ සිටියදී හෝ මේ අමනෝඥ තීරණ තුළින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍ර නොකරන ලෙසත් අපි ආණ්ඩුවට බලකොට සිටිමු.
- උපුටා ගැනීම අවසන් -
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
