IMF ගිවිසුමට සජිත් විරුද්ධ වෙයි.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

Parliament of Sri Lanka Basil Rajapaksa Sajith Premadasa Samagi Jana Balawegaya IMF Sri Lanka
By Luxshan Jun 21, 2023 06:07 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැනවූ කොන්දේසි වලට ශ්‍රී ලංකා රජය විසින් අත්තනෝමතිකව එකඟ වීම හේතුවෙන් රටට සිදු වූ විනාශය හොඳින්ම පෙනෙන හෙයින්, මෙතැන් පටන් හෝ, තීරණ ගැනීමේදී විපක්ෂයටද සියලු කරුණු කාරණා හෙළිකොට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට විරෝධය දැක්විය යුතු බවත් එලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා එක් වන්නේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි ලෙසම බලපෑමක් සිදු කොට විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාගේ තැන්පතු රැක ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

නැවත නැවතත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ගිවිසුමට අදාළ දත්ත සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද ඒවා සභාගත නොකළ බවත්, යම් හෙයකින් එම ගිවිසුම පාර්ලිමේන්තු සභාගත කළේ නම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් කර ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කළ හැකිව තිබූ නමුත්, අදාල දත්ත රටෙන් සහ පාර්ලිමේන්තුවෙන් සඟවා තැබූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

සමගි ජන බලවේගයද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අනුමත කරන අතර විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකිබව තදින්ම විශ්වාස කරන බවත්, මහබැංකු අධිපති හා මුදල් රාජ්‍ය ඇමති විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකරන බව පවසා සිටි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු කරන බව පැවසීම පුදුමයට කරුණක් බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ.

එකිනෙකට පරස්පර විරෝධි කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් වලට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට එළබිය හැකිව ඇතත් ශ්‍රී ලංකාවට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු කළ යුතු වීමත් අතර යම් සැගවුණු කරුණක් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

රජය මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනතාව ගැන හෝ මහජන සුබ සාධනය තැන්පතු හා පාරිතෝෂිත මුදල් ගැන නොසිතා කටයුතු කර ඇති බවත්, මෙවැනි තීන්දුවකට ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස කිසිසේත් එකග විය නොහැකි බවත් විපක්ෂ නායකවරයාඑහිදී වැඩිදුරටත් කියා සිටියා.

මහාචාර්ය ජී එල් පීරිස්,ආචාර්ය නාලක ගොඩහේවා,ඉරාන් වික්‍රමරත්න හා චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ද එම අවස්ථාවේදී අදහස් දක්වා තිබේ.