සිංහලේ අවසන් රජුගේ මාලිගය හොරා කයි..! ප්‍රදේශවාසීන්ගෙන් දැඩි චෝදනාවක්..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 15, 2022 09:16 AM GMT
Report

 ඊයේ (14) අලුයම කිසියම් පිරිසක් විසින් කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නම් පුරාවිද්‍යා ස්මාරකයසොරකම් කොට රැගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බරින් කිලෝග්‍රෑම් 1,000ක් පමණ වූ සඳගල සොරකම් කර ඇත්තේ, පුරාවිද්‍යා නිලධාරීන්ගේ නොසැලකිල්ල මත බවය.

සිංහල රාජවංශයේ අවසන් සිංහල රජු වශයෙන් ප්‍රකට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ මාළිගය පිහිටියේ යැයි පැවැසෙන්නේ කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේය.

ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බොහෝ දෑ මෙහි නටඹුන්ව පවතී. මෙහි තිබූ සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා ස්මාරකය ද එවැනි ඵෙතිහාසික නිර්මාණයක් වන අතර එය ඊයේ අලුයම කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ. 

 සොරකම් කරනු ලැබූ සඳගල කිලෝග්‍රෑම් දහසකට අධික බරකින් යුත් අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක් පමණ උසකින් යුක්ත වසර තුන්සීයකට අධික ඉපැරණි කෞතුක වස්තුවක් බව සැළකේ.

දුර්ලභ ගණයේ රවුම් හැඩති පෞරාණික වස්තුවක් වශයෙන් ප්‍රකට සඳගලේ කැටයම් හා කටාරම් කපා තිබීමත් විශේෂත්වයකි. ඊයේ අලුයම් කාලයේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කොට ගනිමින් සඳගල ගළවා රැගෙන ගොස් යන්නට ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැකපළ කරයි.

ඒ රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂාව උදෙසා ආරක්ෂකයින් දෙදෙනකුද යොදවා තිබූ පසුබිමකය. නමුත්, මීට පෙරද මෙම රක්ෂිත භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

පොලීසිය පැවසුවේ, සඳගල සොරකම් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now