ලාංකිකයන්ට සුපිරි අවස්ථාවක් - අලුත්ම රැකියා අවස්ථාව මෙන්න..

Sri Lanka
By Sewvandhi Jun 26, 2023 01:14 PM GMT
Report

රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) රුමේනියාව මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (25) අරලියගහ මන්දිරයේදී ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර රුමේනියාවේ අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටීමෙහිදී ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට සිය ස්තූතිය පළ කරන බවයි.

2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තයක් වී ඇති රුමේනියාවේ ඇඟලුම්, ඉදිකිරීම්, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය 32,000 කට වඩා වැඩි වන බව සඳහන්.

එමෙන්ම අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී රුමේනියාවෙන් ඉල්ලා සිට තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ අගමැතිවරයා, යුරෝපා සංගමයේ අඛණ්ඩ සහය මෙරටට අවශ්‍ය බව ද අවධාරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහය දෙන බවට රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබීම ද විශේෂත්වයක්.