දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් මිලියන 2,000ක්
ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 43ක පමණ ප්‍රමාණයක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර මිලියන 1,200 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා නිකවැරටිය අභිජනන ගොවිපොළ සංවර්ධනය කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු පැවසීය.
අනාගතයේදී රටට අවශ්‍ය උසස් ප්‍රභේදයේ එළගව සහ මීගව ගැහැනු හා පිරිමි සතුන් බිහිකිරීම සඳහා නිකවැරටිය ගොවිපොළ න්‍යෂ්ටික අභිජනන ගොවිපොළක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නිකවැරටිය කිරි ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන් දිරිමත් කිරීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
ඒ යටතේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම, දිවයින පුරා පිහිටි සත්ව අභිජනන ගොවිපොළවල් නවීන තාක්ෂණයෙන් සංවර්ධනය කිරීම සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.