රන්ජන් රාමනායක වරද පිළිගනී..! අධිකරණයේදී කියූ දේ..
අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මෙම පැමිණිල්ල බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා විසින් ඒ බව දැනුම්දී තිබුණි. බන්ධනාගාර නිලධාරීන් විසින් රාමනායක මහතාව අද අධිකරණයට රැගෙන ආවේය.
මෙම චෝදනාවලට තමන් "නිවැරදිකරු" බව සඳහන් කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මීට පෙර අධිකරණය හමුවේ උත්තරවාද ඉදිරිපත් කර තිබුණි.
එහෙත් මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි තම සේවාදායකයා මීට පෙර දුන් උත්තරවාදය ඉවත් කරගෙන "වැරදිකරු" යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බව සඳහන් කළේය.
ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා ඒ පිළිබඳව විමසීමක් සිදු කරනු ලැබීය. එහිදී රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ චෝදනාවලට "නිවැරදිකරු" යැයි තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ උත්තරවාදය ඉවත් කරගෙන "වැරදිකරු" යන උත්තරවාදය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන බවය.
තවදුරටත් කරුණු දැක්වූ රන්ජන් රාමනායක මහතා, "ස්වාමීනි..මෙම චෝදනාවලට නිවැරදිකරු බව මා මුලින් ප්‍රකාශ කළා. එහෙත් එම උත්තරවාදය ඉල්ලා අස්කරගෙන "වැරදිකරු" යන උත්තරවාද ඉදිරිපත් කිරීමට මා අවසර පතනවා. මා දෙරණ නාලිකාවේ "වාද පිටිය" වැඩසටහනේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවරී තිබෙන්නේ.
මා විසින් සිදු කළ ප්‍රකාශයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්, නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවක් මා තුළ තිබුණේ නැහැ. එවැනි මතයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා තුළ තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මා කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කර සිටිනවා."
ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අවස්ථාවක විත්තිකරුවෙකුට සිරදඬුවමක්, දඩයක් හෝ සිරදඬුවම් හා දඩය යන දෙකම පැනවීමට අධිකරණයට බලයක් තිබෙන බව සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු අනුව සුදුසු තීරණයක් ලබාදෙන ලෙසත් සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව මෙම පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි මස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පැමිණිල්ල පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.
2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |