ආරක්ෂාව ගැන රජය දැඩි අවධානයක් යොමු කරන්නේ ඇයි දැයි ජනපති පහදයි

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Ministry of Defense Sri Lanka
By Sithumi Nov 12, 2022 03:15 PM GMT
Report

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමිනුයි.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසුවා,

අද අප ජීවත්වන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ඉපදෙන විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබූ බව ද සිහිපත් කර සිටියා,

නාවික ගමනාගමනය නිදහසේ සිදු කළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා භාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියහොත් සිදුවන්නේ කුමක්දැයි ද ප්‍රශ්න කළා.

2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමෙන් හෝ මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකී වූ අවස්ථාවේ අත්දැකීම් ද සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව පෙන්වා දුන්නා. 

 සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බවද කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now