ජනපති රනිල් දෙසැම්බරයේ සිට ලංකාවට කරන්න යන දේ මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 22, 2022 03:47 AM GMT
Report

වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ මේ වසර අවසන් වන විට ප්‍රකාශයට පත් කොට ඊට අදාළ නෛතික කටයුතු ලබන වසරේ මුල් භාගයේදී අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා (ඔක්. 20) පැවසීය.

ණය ලබා ගැනීම වෙනුවට ආයෝජනවලට යන ක්‍රමයට නැවත ශ්‍රී ලංකාව ගෙන යාම සඳහා අවධානය යොමු වී තිබෙන බව ත්, වත්මන් රජයේ මූලික අරමුණ ශ්‍රී ලංකාව ආයෝජකයන්ට මිත්‍රශීලී රටක් බවට පත් කිරීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී විදේශ ආයෝජන වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, රටට ආයෝජකයන් පැමිණියහොත් ඉහළ ආදායමක් හා වැඩිපුර රැකියා අවස්ථා ලැබීමටත් හේතුවිය හැකි බව ත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ආයෝජන අවස්ථා වැඩි වශයෙන් ලැබුණහොත් විදෙස් ණය ලබා ගැනීමේ විෂම චක්‍රයෙන් මිදීමට හැකියාව ලැබෙන බවද කොළඹ හැව්ලොක් ටවුන්හි ඉදිකළ මිරේකා ටවර් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ආයෝජනයක් කිරීමේදී යම් සංවිධානයකට අදහස් ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බවත් ඉන් පසුව මානව සම්පත් වර්ධනය කිරීමට හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා කීවේ ය.

මෙම තත්ත්වය යහපත් අයුරින් පවතී නම් වුවමනාවට වඩා බදු සහන ලබා දීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත්, රටට කාර්යක්ෂම පරිපාලන ක්‍රමයක් හා කාර්යක්ෂම යටිතල පහසුකම් පද්ධතියක් තිබීමෙන් ආයෝජන පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය වැනි විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවත්, අතීතයේදී මහ කොළඹ ආර්ථික කොමිසමේ ක්‍රමයට කටයුතු කළ විට ආර්ථික වර්ධනයක් ඇති කරගත් බව ත් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

නව ආර්ථික වැඩපිළිවෙළ යටතේ නීති රාශියක් වෙනස් කිරීමට තිබෙන බව ත්, මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මගින් රට පාවා දෙන බවට දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘති ආරම්භ විය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now