ජනපති, අගමැති, බැසිල් එකට සාකච්ඡාවක්..පොහොට්ටුවේ සහය ජනපතිට..

Basil Rajapaksa Dinesh Gunawardena Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Aruna Jun 15, 2023 02:13 AM GMT
Report

ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාව පළකර ඇති බවයි දේශපාලන වාර්තා පවසන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදි පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණා.

කෙසේවෙතත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවු බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අදාළ සිදුවීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ආණ්ඩුවේ යම් වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදි ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදී යෝජනා වු බවයි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.