දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.