දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් බලධාරීන්ට අනතුරු ඇඟවීමක්

Sri Lanka Railways Department of Railways Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2026 10:01 AM GMT
Report

දුම්රිය සේවයේ පවතින පරිපාලන, සේවා සහ විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසකට මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව පවසමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත්, සහෝදර දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සංගමය අනතුරු අඟවා ඇත.

දුම්රිය ස්ථානවල පැමිණීම හා පිටවීම පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියේ එක් අංශයක් පමණක් බව පෙන්වා දෙන සංගමය, වසර ගණනාවක් පුරා නිසි විගණනයකට ලක් නොවූ දුම්රිය ස්ථාන පවතින බවද සඳහන් කරයි.

විභාග සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා පත්වීම් වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු ගොඩගැසී ඇති බවත් සංගමය චෝදනා කරයි.

එසේම, දුම්රිය ස්ථානාධිපති සේවයට සෘජුව බලපාන සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ පටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන තවදුරටත් ප්‍රමාද වීම බරපතළ ගැටලුවක් බවද ඔවුන් පෙන්වා දෙයි.

සේවා වාර කප්පාදුව වැනි ක්‍රියාමාර්ගවලදී දුම්රිය ස්ථානාධිපති සේවය පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම පිළිගත නොහැකි බවද සංගමය අවධාරණය කර තිබේ.

මේ අතර, දිනෙන් දින අඩාල වන දුම්රිය ධාවනය, යටිතල පහසුකම්වල පවතින ගැටලු, භාවිතයට ගත නොහැකි දුම්රිය සම්පත්, සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම සහ දෙපාර්තමේන්තුව සතු ඉංජිනේරු හා තාක්ෂණික සම්පත් නිසි ලෙස භාවිත නොකිරීම සම්බන්ධයෙන්ද සංගමය අවධානය යොමු කර ඇත.

මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී සාකච්ඡා ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මහජනතාවට විශ්වාසනීය හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන සහ සේවාමය තීරණ කඩිනමින් ලබාගැනීම සිය එකම අරමුණ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.