එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුවන අයුරු - "ඔපරේෂන් යුනිකොන්" හා "ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්"

London United Kingdom Queen Elizabeth II
By Sewvandhi Sep 09, 2022 04:24 PM GMT
Report

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය තවමත් බැල්මෝරල් මන්දිරයේ තැන්පත් කර ඇති අතර, එය එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් වෙත රැගෙනයාමට නියමිතය. අනතුරුව දේහය ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දෙව් මැදුර වෙත රැගෙන යන අතර පැය 24ක කාලයක් දේහය මහජන ගෞරව සඳහා එහි තැන්පත් කෙරීමට නියමිතය.

පසුව දේහය ලන්ඩන් නුවරට රැගෙන එන්නේ රාජකීය දුම්රිය මගිනි. අනතුරුව හමුදා ආචාර මැද රැජිනගේ දේහය බකිංහැම් මන්දිරයේ සිට වෙස්මිනිස්ටර් ශාලාව වෙත ගෙන ඒමට නියමිතය. දේහය එහි තැන්පත් කෙරෙන්නේ රාජකීය පවුලේ සාමාජිකයින්ට ගෞරවය දැක්වීමට අවස්ථාව ලබාදීමටය. දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිවන්නේ ඉන් පසුවය.

රාජකීය අවමංගල උත්සවය රැජිනගේ මරණයෙන් දින 10ත් 12ත් අතර කාලයක් තුල පැවැත්වීමට නියමිතය. රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවර බකිංහැම් මන්දිර වෙත රැගෙන ඒමේ සමස්ත සැලසුම නම්කර ඇත්තේ "ඔපරේෂන් යුනිකොන්" ලෙසය. එසේම රැජිනගේ මරණයේ සිට මීළඟ රජුගේ නිල රාජාභිෂේකය දක්වා වන මුළු කාලය තුල සිදුවන ක්‍රියාවලිය "ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්" ලෙස හඳුන්වති.

රැජින මියායෑම හේතුවෙන් චාල්ස් කුමරු මීළඟ රජු ලෙස නම් කෙරුණු අතර, රාජකීයත්වයේ සියලු වගකීම් ඔහු වෙත පැවරුණි. තෙවැනි චාල්ස් රජු, බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස සිය පළමු නිල ප්‍රකාශය හෙට (10) නිකුත් කිරීමට නියමිතය. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහා රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළාය. 

 මියයන විට 96වැනි වියේ පසුවූ එලිසබත් රැජින සැලකෙන්නේ ලොව දෙවැනියට වැඩිම කාලයක් කිරුළ දැරූ අධිරාජ්‍යයා ලෙසය. දෙවන එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ බැල්මෝරල් මන්දිරයේ රැඳී සිටියදී ඊයේ (08) අභාවප්‍රාප්ත විය. රැජිනගේ අභාවය සම්බන්ධ නිල නිවේදනය බකිංහැම් මන්දිරයේ පිවිසුම අබියස එල්ලා තබනු ලැබුවේ සාම්ප්‍රදායට මුල්තැන දෙමිනි. 

 පසුව ඇයගේ මරණය ලොව වටා ප්‍රධාන මාධ්‍ය වෙත දැනුම්දීම සිදුවූ අතර, අවමංගල පුවත නිල වශයෙන් නිවේදනය කිරීමට BBC මාධ්‍ය ජාලය කටයුතු කළේය. ඒ රැජිනගේ මරණය වාර්තා කිරීමේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව යමින් කළු පැහැ ඇඳුමින් සැරසීගෙනය. ඉන් අනතුරුව රැජින මියගිය බවට සඳහන් පණිවුඩය අගමැතිවරිය වෙත දැනුම්දීම සිදුවිය. අනතුරුව එම පණිවුඩය බ්‍රිතාන්‍යයේ කිරීටය යටතේ පවතින රටවල් 15 වෙත දැනුම් දුන් අතර එය ශ්‍රී ලංකාව ද ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36 වෙත දැන්වීමට කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now