දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ පිහිටුවා ඇති අනුකමිටුවේ පස්වැනි රැස්වීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා තිබූ බවයි.
එහිදී ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ බාධා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
පශ්චාත් ආපදා කාලසීමාව තුළ අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා අනෙකුත් පොදු පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කර ප්‍රධාන කමිටුව වෙත වාර්තා කිරීම මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය බව සඳහන් වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පෙන්වා දුන්නේ, පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය තොරතුරු සහ නිර්දේශ කාලෝචිතව ලබාදීම අනුකමිටුවේ වගකීම වන බවයි.
ආපදාවෙන් වැඩිම බලපෑමට ලක් වූ පළාත්වල ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර, එක් එක් පළාත්වල ප්‍රගතිය පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, පොදු පහසුකම් නැවත ගොඩනැඟීමේ කටයුතු පිළිබඳ තොරතුරු පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීමට එක්වෙමින් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.