සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි..!

Latest Headlines
By Sewvandhi Mar 22, 2024 08:50 AM GMT
Report

අද (22) ප්‍රවීණ ලේඛක, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වී තිබෙනවා.පවුලේ ඥාතීන් සඳහන් කළේ,  මිය‍යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවූ බවයි.

ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54ක් වන අතර, නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය එයට ඇතුලත්.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහාද ඔහු ඉහළ දායකත්වයක් සපයා තිබෙනවා.

මාතර රෝහණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට සමත් වූ පළමු ශිෂ්‍යයා ලෙසද වාර්තා අතරට එක් වෙනවා.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු, එම විශ්වවිද්‍යාලයේම සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස විශ්‍රාම යනතෙක් සේවය කරනු ලැබූ අතර, වර්ෂයකට ආසන්න කාලයක් චීනයේ බේජිං විශ්වවිද්‍යාලයේද සේවය කර තිබෙනවා.

එමෙන්ම සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව වූ පර්යේෂණ නිබන්ධයක් සඳහා ආචාර්ය උපාධියක් දිනාගත් එතුමා සාහිත්‍ය මානව විද්‍යාව, ජනශ්‍රැති විද්‍යාව, සිනමාව, නාට්‍ය සහ රූපවාහිනිය ආදී විෂයයන් පිළිබඳ පතපොත හා විචාර ලිපි රචකයෙකි.

ඔහු විසින් ලියන ලද ‘සංස්කෘතියේ සමාජ මුහුණුවර’ නමැති කෘතිය සඳහා 1984 වර්ෂයේ දී ද, ‘යථාර්ථය සහ නිර්මාණය’ නමැති කෘතිය සඳහා 1994 වර්ෂයේදී ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා තිබෙනවා.

එමෙන්ම 1995 වසරේ පරිවර්තනය කරන ලද ‘සිනමා සිද්ධාන්ත සහ විචාර’ නමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී පරිවර්තන කෘතියක් ලෙස හැඳින්විය හැකියි.(උපුටාගැනීමක්)