බන්ධනාගාරගත රැඳවියන් අ.පො.ස (උ: පෙළ ) විභාගය ඉහලින් සමත්..
විවිධ චෝදනා ලබා බන්ධනාගාර ගත වන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ මැදිහත්වීම මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සෑම වර්ෂයකම බන්ධනාගාර ගත වන රැඳවියන් අතුරින් හැකියාවන් සහිත රැඳවියන් ප්‍රමාණයක් උසස් අධ්‍යාපන කටයුතු සදහා යොමු කරයි.
2021 වර්ෂයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත් වන ලද අ:පො:ස (උ:පෙළ) විභාගය සඳහා නව මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේ රැදවියන් තිදෙනෙකු (03) කලා විෂය ධාරාවන්ගෙන් පෙනී සිටින ලදි.
ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ විශේෂ ඝනයේ එල්.ටී.ටී.ඊ රැඳවියෙකු වන කිලිනොච්චිය ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 38 ක් වන රැඳවියා විසින් භුගෝල විද්‍යාව- සම්මාන සාමාර්ථ (C) හින්දු ශිෂ්ඨාචාරය- සම්මාන සාමාර්ථ (C) දමිළ භාෂාව - සාමාන්‍ය සාමාර්ථ (S) ලබා ගනිමින් සමත් වී ඇති අතර , වැලිකඩ බන්ධනාගාරයෙන් පෙනී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක රැඳවියා විසින් දේශපාලන විද්‍යාව-සාමාන්‍ය සාමාර්ථ (S) බෞද්ධ ශිෂ්ඨාචාරය-සාමාන්‍ය සාමාර්ථ (S) සිංහල - සාමාන්‍ය සාමාර්ථ (S) වශයෙන් සමාර්ථ ලබා රැදවියන් දෙදෙනෙකු (02) විභාගය සමත් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක ) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.