මීගමුව බන්ධනාගාර සිද්ධියට රජය වගකිව යුතුයි - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Sri Lanka Department of Prisons Sri Lanka Death Prisons in Sri Lanka Sinhala news
By R.rishma Jul 06, 2026 08:17 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම කමිටුවේ කැඳවුම්කරු සුදේස් නන්දිමාල් මහතා සඳහන් කළේ, බන්ධනාගාරය තුළ සිදුව ඇත්තේ රැඳවියන් අතර ගැටුමක්ද, නැතහොත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක්ද යන්න පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වන බවයි.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ පිළිබඳවද තොරතුරු වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

රැඳවියන් වදහිංසාවට හා පීඩනයට ලක්වීමට ප්‍රධාන හේතුව වන්නේ බන්ධනාගාර තුළ පවතින ගැටලු නිසි ලෙස හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම බවද ඔහු පැවසීය. 

සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාරයට පැමිණි ඥාතීන් සහ ජනතාව පරිශ්‍රයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔවුන්ට තම සමීපතමයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද අපහසු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රජය කඩිනමින් මෙම ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද සුදේස් නන්දිමාල් මහතා අනතුරු ඇඟවීය. එසේම වැලිකඩ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන්ට සම්මාන ලබාදීම පිළිබඳවද ඔහු විවේචනය කළේය.

එම මාධ්‍ය හමුවට එක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ ධනුෂ්ක සිල්වා මහතා පැවසුවේ, රජයේ භාරයේ සිටින රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජයට පැවරෙන බවයි. 

බන්ධනාගාර පද්ධතියේ ප්‍රමාණවත් පරිපාලන ක්‍රියාමාර්ග නොමැති වීම සහ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු නොමැති වීම තුළින් අධිකරණ අමාත්‍යාංශයේ දුර්වලතාවය පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන බවට චෝදනා එල්ල වන පසුබිමක, එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළු වන්නේ කෙසේද යන්න පිළිබඳවද බලධාරීන් පැහැදිලි කිරීමක් කළ යුතු බව නීතිඥ ධනුෂ්ක සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.