පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

Sri Lanka Food Crisis Ministry of Consumer Protection Sri Lanka Fuel Crisis Latest Headlines Sinhala news
By Shehan Mar 23, 2026 07:03 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ඇතුළු පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් අද (23) දිනයේ ගනු ලබන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, සංගමයේ සාමාජිකයින් අතර අද පෙරවරු 10.00ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. 

ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු දසත නිව්ස් සිදුකළ විමසීමකදී පැවසීය.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් ගන්නා ලද තීරණය මගින් පාන්, බිස්කට්, කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් යළිත් වැඩිවීමේ ඉඩකඩක් පවතින බවත්, එය ජනතාවගේ දෛනික ආහාර වියදමට බලපෑමක් එල්ල කරන බවත් සංගමය පෙන්වා දෙයි. 

බේකරි හිමියන් රජයෙන් ඉල්ලා සිටින්නේ, ඉන්ධන මිල සහ ප්‍රවාහන පිරිවැය අඩු කිරීමට හෝ සහනාධාර ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. නැතහොත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් තවදුරටත් ඉහළ යාම වළක්වා ගැනීමට නොහැකි බව ඔවුහු අවධාරණය කරති.

මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම තවදුරටත් බලපෑමට ලක්වනු ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය අනතුරු ඇඟවී තිබේ.