විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් - ජනපති

Anura Kumara Dissanayaka Bar Association of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2026 01:37 PM GMT
Report

විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා ගත් තීරණයක් නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

මෙම සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවත්, එය තම පෞද්ගලික මතයක් හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් හා යෝජනාද ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා, රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයට පමණක් සීමා නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විමර්ශන, නඩු පැවරීම සහ අධිකරණ කටයුතු යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බව සඳහන් කර ඇත.

එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව සම්පත් ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කර ඇත.

ජනතාවට පහසුවෙන් අභියාචනාධිකරණ සේවා ලබාගත හැකි වන පරිදි පළාත් මට්ටමින් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මීට අමතරව, ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමටත්, අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බවද සඳහන් කර ඇත.

විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධ තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව ඔවුන් යෝජනා කර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.