එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කර ඇති විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මේ වනවිට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
එමෙන්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇත.
පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදුකිරීම හේතුවෙන් වගා හානි අවම මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.
ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සහ අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් සිටින බවද එම නිලධාරීන් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර, ප්‍රධාන ජලාශවල දැනට පවතින ජල ධාරිතාව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කරුණු විමසා තිබේ. අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම, ඉදිරි වගා සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.