දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Anura Kumara Dissanayaka Latest Headlines Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jul 09, 2026 11:46 AM GMT
Report

අවශ්‍යතාවය සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට මෙන්ම ආයෝජන සඳහා සුදුසු විශාල ඉඩම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් හඳුනාගන්නා හදිසි පාලම්, මාර්ග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධනය වේගවත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු බව සඳහන් කළේය.

සමුළුවේදී දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, දිස්ත්‍රික් මට්ටමේ ගැටලු සහ ඒවාට ප්‍රායෝගික විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචිය වැළැක්වීමටත්, එවැනි ප්‍රදේශ සඳහා ජලය හා විදුලිය වැනි මූලික පහසුකම් අනුමත නොකිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ලබන වසරේදී එහි කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසර තුළ යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවත්, ගංවතුර හා නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත නිවාස වෙත ක්‍රමානුකූලව යොමු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති සමාලෝචනය කර ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති පමණක් සම්පූර්ණ කිරීම සඳහා නිවාස ආධාර ලබාදීමට ද රජයේ අවධානය යොමුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්, සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

බන්ධනාගාරවල තදබදයට බලපා ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුව විසඳීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.